Thursday 30 June 2011

නොගිලිහෙන ප්‍රේමය

ගිලිහිලා නටුවෙන්
අයාලේ ගිය සිතට
නවාතැන් පොලක් විය
මඟ රැඳුණු කටු ලැහැබ

ස්නේහයේ කටු පදුර
වැළද ගත් හෙයින් මල
පෙම් සුවඳ මුසු කලා
මල එයට තුති ලෙසට

හමා උඩු සුළඟ
කටු අගින් මුදද්දී
හඬා වැටුණා මලම
සීරිලා කටු වලට

ගෙන ගියත් මල ඈත
පිදූ පෙම් සුවඳ හා
මල් පියල්ලක් තවම
රැදී ඒ කටුව මත....

Sunday 26 June 2011

සඳ.....

සඳ..............
නුඹ ඈත බව සැබැයි
අත පොවනු බැරි තරමට
ඈතින් හිඳ.............
නෙත් පුරා විදිමි නුඹෙ රුව
අත් විදිමි නුඹෙ සිසිලස
අමාවකක් උදාවිත් හිටි හටියෙම
නුඹ ගොසින් නෙත් මානයෙනුත් ඈතට
තිබූ සිසිලසත් අරගෙන.............

Friday 24 June 2011

අසීමිත සෙනෙහස...

නුඹ ඇවිත් මගෙ ලඟට
හිට ගද්දි සීරුවෙන්
හෙලන ඒ සුසුම් රැල්
සිප ගනියි මගෙ කොපුල්

තෙරක් අතොරක් නැතිව
මුමුණනා වදන් වැල්
ගොළු වුනාදෝ වැදී
නුඹේ උණුසුම් පවන්

සියොලඟම අවුළුවා
දවාලන්නද ඉතින්
නුඹේ ඔය දෙනෙත් යුග
නොසලන්නෙ ඇසි පියන්

හොවා ඔය උරහිසෙහි
හිස මගේ ඇලකරන්
හිදින විට වෙන යමක්
එපා මට මිහි පිටින්

Tuesday 21 June 2011

අකීකරු වළාකුල..

නිරුදක කතරට
සෙනේ දිය පොදක් නොදී
බලා හිඳි
වළාකුල නුඹ...
පලක් නැහැ බිඳක්වත්
ඒ වැසි දියෙන්
වස්සානයේ මේ සිත්මලට...





Friday 17 June 2011

දෑ සමන් මල....

දෑ සමන් මල මමයි
නෙක සුවඳ විහිදනා
සමනලා නොවී නුඹ
බඹරිඳෙකු සේ වුනා

රුව දිලෙන උඩවැඩිය
මලක් ළඟ නැවතිලා
සමන් මල් සුවඳ නුඹ
ඒ රුවට යට කලා

හුදෙකලා නොවිමි මම
සමනලෙකු පැමිනුණා
මලේ පෙම් සුවඳ විඳ
මා ළඟම නැවතුණා

රුව විනා සුවඳ නැති
මලෙන් අවමන් ලබා
යළි නොඑන් බඹරිඳුනි
නුඹ වැඩියි දුර ගියා
.....