Thursday 4 October 2012

ජීවිතය එක් ගඟුලකී.....





ජීවිතය එක් ගඟුකී
යළි හැරී නොගළනු හැකී
මතකයන් මඳනල වගේ
ඒ ගඟ දිගේ ආපසු ඇදේ

දිය සමඟ ගෙන එනු බැරී
මඟ හැරුණු දෑ බෝ වෙතී
එම මතක ගං පතුලෙහී
මිණි ලෙසින් සුරැකිව ඇතී

නිසල ගඟ කළඹනු හැකී
වළදැමූ මතකයෙ තතූ
අතීතය වෙත පිය නැඟූ
මඳනලේ නොගෙනෙන් මතූ

Monday 3 September 2012

ෆූජි.........


දෙපා මිහිකත මත රැදී
නුබ කුසෙහි තරු දෝතින් ගතී
සේද මේකුළු බඳ එතී
ගිම්හානයෙද සිසිලස දෙතී
ලෝ දියර කුස තුරුලෙහී
සඟවාන ගිණි පිටතට නොදී
අහස සිඹිනට ලොබ ඇතී
මනුසතට හිනිමඟ ලෙස ඉදී
ෆූජි නුඹ ගිර මුදුනෙහී
හිඳ දෙව්ලොවට අතපෙව්වැකී


Friday 20 July 2012

ළඟින් සිටියා නම්….



මඟ බලන ඒ කෝපි හලකට
ගොඩවැදී නැවතත්
සීනි නැති එක කෝපි බඳුනක්
බොන්න තිබුණා නම්….
ඔබ හා බොන්න තිබුණා නම්

රැයක් නැති මේ විසල් නගරේ
නොනිවි දැල්වෙන නියොන් එළි මැද
උරහිසේ ගෑවී නොගෑවී
යන්න තිබුණා නම්….
ඔබ හා යන්න තිබුණා නම්

මැයි ගසක රතු පලස වෙනුවට
සිත නිවන ලා රෝස පැහැගත්
සකුරා සෙවනේ ටික වෙලාවක්
ඉන්න තිබුණා නම්….
ඔබ හා ඉන්න තිබුණා නම්

ඇසිපියන් හල සැණින් නිමවෙන
විදුලි දුම්රියෙ ගමන් මඟ මට
කල්පයක් සේ දිගු නොවන්නට
ළඟින් සිටියා නම්…. 
ඔබ මා ළඟින් සිටියා නම්

Tuesday 5 June 2012

සිඳු, සඳු හා බිඟු....



ගිරි ශිඛර මත්තෙන් එළිය දුටු දිය කඩිත්තක්
සිඳුට බැඳි සෙනෙහෙන් එමුව දැක මියැදෙන්න ඇල්මක්
ඇතිව දිය ගෙන ගොස් සුරැකිව එ'ගං මුවදොර තෙක්
සයුර වෙත පිදුවත් සිඳුට එය තව එකදු නදියක්

සඳ වෙත උපන් සෙනෙහෙන් නුබගැබ දිළෙන තරුවක්
සඳට තනි මැකුවත් දිව රෑ නොබල වෙහෙසක්
පිරිවර සමඟ දහසක් තරු කැට ඉන්න අහසක්
මැද සුදිළෙන සඳක් කෙසේ තෝරා ගනුද තරුවක්

පෙති වටකර සොඳින් මල් රොන් සුරැකි නෙළුමක්
විල වට සරණ බඹරෙක් කෙරෙහි වූයෙන් ආල හැඟුමක්
පෙති විදහා සෙමින් දුන්මුත් බිඟුට වරයක්
එකම එක මලකින් රොන් උරා සෑහේද බඹරෙක්





 

Wednesday 9 May 2012

යටගියාවේ මතක

ඔබත් මා පමණක්ම
පොත්ගුලෙහි කෙළවරක
උන්නු හැටි සිහි කරයි
යටගියාවේ මතක
කඩඉමකි සරසවිය
ජීවිතයෙ තවත් එක
පෙහෙළිකළ නැවුම් පෙත්
සොඳුරුතම ඉසව්වක

මල් ඉහිරි පාවාඩ
ඇතිරවූ පාරවල
ඇවිද ඇත්තෙමු අපිද
බොහොමයක් හවස්කල
හැරගියද සරසවිය
ජීවිතය අළුත් කල
සොඳුරු ඇඳුරිදු නුඹය
ම'දිවි සරසවිය තුළ