සැලි සැලී ලෙළදෙනා බෝපත් වෙත යොමන නෙතු පියවිලී
නොමසැලී පිහිටුවා එකමෙක අරමුණක තම සිතුවිලී
දිලි දිලී හිඳ සැනින් නිවෙනා පහන් දැල්ලක වූ දැලී
යළි යළී පවසනා දේ ඇති අරුත කළ මැන පැහැදිලී
ඇමදලා එක රටාවට තැබු වැලි මළුව යළි සැනෙකිනේ
අපිළිවෙල කළ පා ලකුණු හා පත් සමඟ වෙර නොම ගෙනේ
සිත කිළිටි කළ පවිටු සිතුවිලි විටින් විට කළ සක්මනේ
නොකිලිටිව සිත සුපිරිසිදු කළ හැකිද නැවතත් හිමියනේ
නොයෙක් දුක් විඳ විලෙන් මතුවන සත්පියුම නටුවෙන් මුදා
බුදුන් පාමුල පුදන විට විල සාදු නද දුනි තුති පුදා
සුවහසක් දුක් විඳ සැදූ තම පුතා බුදු සසුනට පුදා
ඔබේ මවුතුමි බුදුවන්න මතු පාරමී පුරනෙද මෙදා
එතෙර වන්නට සසර බැමි බිඳ මැරි මැරී උපදින බවේ
සොළොස්වසකුත් පිරෙන්නට පෙර වැටහුනිද අනියත ලොවේ
සිත් සතන් වල්මතින් මුදවන බණ පදයකින් ඔබෙ මුවේ
සතර වැලවරිගයම එපිනෙන් මෙත් බුදුන් කල රහත් වේ