Thursday, 22 September 2011

අකලට වැස්සක්...



















වැසි පිට වැසි ඇදහලන නියාවෙන්
සපැමිණි මුත් මෝසම් සුළඟක්
සුළං මුවාවට වැස්ස අහිමිවුනි
මැද වූයෙන් මහ කඳුකරයක්

දෙගොඩ තලා උතුරන තරමට නොව
යන්තම් තෙමුනා බිම පමණක්
පතන විටදි ආදරය නොපෙන්වන
නුඹත් වගෙයි එක් කඳුකරයක්

කඳු ශිඛරයෙ තුරු සෙවණින් ලදමුත්
කිසිදා නොවෙනස්වන සිහිලක්
නියං කලට නම් කෙසේ පතන්නද
වැස්ස තබා වැස්සක ලකුණක්

වළා පෙළක් වැහි කුළක් කරන මෙන්
හරිත තුරු පිරුණු මහ වනයක්
නොසිතු විටක සෙනෙහෙන් සිත නහවා
නුඹ දුන්නා අකලට වැස්සක්

Saturday, 17 September 2011

ශිලාලිපි ආදරය...


 
මා දෙනෙත් දෙස බලා
නොලියූ පද වැලක්
හෙමි හෙමින් මුමුනන්න

මුව පුරා පිරික්සා
කෙටුම්පත් සිත්තමට
පැහැය එක් කර දෙන්න

හදවතෙහි ලියූ ඒ
සිතුම් නව කථාවේ
එකම චරිතය වන්න

නුඹට හැකි කී නමුදු
මට නොහේ...
තවම නුඹෙ ශිලාලිපි
ආදරය...
පද වලට පෙරලන්න

Monday, 12 September 2011

කිරිසිනා කැන්....

 
















දෙව් විමන් හැර දෙව් ලොවෙන් බට පොඩි සුරඟනාවක් ලෙසේ
පස් බැලුම් මහ බලා සැරසී ලැගුම් ගත්තී මා කුසේ
සියුම් මොලකැටි මල් කැකුල්ලක් වැඩෙන්නට හරිමින් එසේ
පෙර පරිදි ගත් හුස්ම වුව මම නොගත්තෙමි සිතු සිතු ලෙසේ

එකඳු පියවරකින් වුවත් මගෙ නුඹට දුක නොදැනෙන්නයි
දුකක් නොව මට මේ අපහසුව නුඹ සැපෙන් දැඩිවෙන්නයි
ඇඟිළි ගනිනා පියාණන් හට කිරි සුවඳ විඳ ගන්නයි
පැතුම නම් මගෙ නුඹ නිරෝගිව මෙලොව එළි දැක ගන්නයි

දිවා රෑ දෙක දුටුව සිහිනය මලින් ඵල ගන්නා
කිරිසිනා කැන් රැගෙන සොම්නස සතුට කර පින්නා
ගතේ රුහිරය කිරට හරවන සෙනෙහසක් වඩනා

Saturday, 3 September 2011

නුඹත් එක්ක දුර ගියත් මගේ හිත

ගලා හැළෙන දිය ඇල්ල නුඹයි
මේ හද ගල් පර මත පෙණ ඉසිනා
රළුව තිබූ ඒ ගල් කැබලිති හැම
ඒ දිය පහරින් සුමට වුනා

සිනිදුම ගල් කැට නදියත් සමඟින්
සමුදුර තෙක් පියමනින නියා
නුඹේ පෙමින් ඔප වැටුණු මගේ සිත
නුඹත් එක්ක දුර ගමන් ගියා

විටෙක සැඩව තව විටෙක නිසල වන
සෙනෙහෙ දියේ ගැඹුරෙහි ගිල්වා
මුවදොර තෙක් ගෙනැවිත් නුඹ මා
එහි අතැර දමා සමුදුරට ගියා