Saturday, 28 May 2011

හිම රේණු ආදරය...

හරිත පත් නෙක ගණන්
පිරි ඉතිරී ගියපු
වසන්තය පුරාවට
මලක් සේ ඵලක් සේ
නුඹ දුන්නු ආදරය...

වසන්තය මියෙද්දිම
හරිතවන් පත් සේම
මල් සේම ඵල සේම
හැර ගියා දෝ සිතුණි...

මේ සීත ඉර්තුවම
ගැහෙන සිතුවිලි එක්ක
පැතුම් සුන් හදවතම
මඟ බලා ඉදිද්දී...

හිම රේණු ලෙසින් විත්
නැවත හද වෙලා ගත්
නුඹේ ඒ ආදරය
මේ සිතට බර වැඩියි
මුත් ඉතින්....
රැක ගනිමි හදවතින්
නොයන්නට දිය වෙවී
බිඳක් හෝ....

Thursday, 26 May 2011

තරු එළියක්ව....

                                             සරා සඳක් වන්නට
                                 පැතූ මුත්...
                                 වරම් නොලදිමි
                                 එළිය කරනට දිවි අරණ
                                 කුඩා තරු එළියක්ව
                                 සැමදාම හිඳින්නම්
                                 මඟ සොයා ගන්නට
                                 නුඹට අවැසි විට...

Tuesday, 24 May 2011

වාන් දමනෙමි එදුක්.....

 සිත මගේ නදියක්ය
හිතුමතේ ගලා ගෙන ගියපූ
ඔබ මහා බැම්ම විය
ගලන මඟ හරස් කොට ගෙන බැඳපූ

සසල සිත සිතුවිලිද
නිසල කොට මිටින් ගෙන සැනසූ
රැකවලා නුඹම විය
දිවි මඟට තව නැවුම් අරුතක් සැපයූ

දුක් කන්ද අපමණයි
ජල කඳක් සේ
බැඳි බැමින් සිර කොට තබපූ
පුපුරයිද වැව් බැම්ම
අසේනිය වැස්සකින් අකාලෙම ඇද හැළුනූ

විවර කර ඉඩ දෙන්න
හද බැම්මෙ දොරටු හැම
ඔබම වසා ගෙන ඉදපූ
රැකෙන්නට මේ බැම්ම වාන් දමනෙමි එදුක්
පොදි ලෙසින් තුටු කඳුළු

Sunday, 22 May 2011

පහන් සිල වුනානම්….

    රුවන් වන් තරුවක්ව
    නොවී හිඳ දුර අහසෙ 
දිවි අඳුර මකා ලන
       පහන් සිල වුනානම්….

   රක්ත පලසක් නොවී
  සඳළු තල මත එළන
     මගෙ දෙපා නිති සිඹින
      දුහුවිල්ල උනානම්….. 
 නේක පද ස්වර රටා
  යෙදූ ගීයකින් නොව
   ඔබේ ගැන මුඳු හඬින්
     මට වරක් කීව නම්…. 

සත්තටම සත්තකයි
      දැනටමත් ඔබෙයි මං….

Saturday, 21 May 2011

හද ඇඳි සිතුවම්........

සිනිඳු මුඳු හද
ළවැලි තලයම
ඇමද තැබුවෙමි
නුඹට එන්නට
 
නුඹේ මුඳු
පා රටාවෙන්
මහද මත සිතුවම් අඳින්නට
 
නුඹ ඇවිත් සක්මන් කලා එහි
නොමැකෙනා පිලිරූ මවන්නට

අරුම කිම ... රැගෙන ගිය
නුඹ පැමිනි සළකුණු
සමඟ නුඹ ගිය...
                                                      
තබා මසිතෙහි
මතක සටහන්
ගියා නුඹ මා හැර කියන්නට...

Tuesday, 17 May 2011

ඔබේ පණ නළ ඔවුන්මැයි......

නුඹේ පහනින් එළිය දී
උන් පහන් කන්දක් කළ වගයි
පහන් කන්දේ එළිය නොලදත්
තවම අඩිතාලම සවියි

දින ගණන් සති ගණන් ගියමුත්
ඔවුන් එනතුරු මඟ බලයි
වරක් දෙවරක් නොවෙයි උන් රුව
කොතෙක් දුටුවත් මදි වගෙයි

ඇසු පිරූ දේ දැන ගතත්
උන් නුඹට කිරි දරුවන් වගෙයි
නේක මසවුළු බුදින විට උන්
නුඹේ කුස පිරුණා වගෙයි

ගත දුබල මුත් සිත තරුණ කල
පැන් ඔසුව උන් ජයටැඹයි
නුඹම ජීවය ලබා දුන්නත්
ඔබේ පණ නළ ඔවුන්මැයි