Sunday, 14 August 2011

පටි කැඩුණු සෙරෙප්පුව


පටි කැඩුණු සෙරෙප්පුව
වැළඳ ගත් කුණු බක්කිය
බලා ඉදියි මා දෙස
අයදින්න මෙන් සමා
නුඹ කුමක් කරන්නද
නොහැරුණාට ඒ දෙපා
මදෙසට....

අපුල කළ ඉවත හල
කැඩුණු ඒ පාවහන
ජීවිතය පුරා ඇති
ඇද පළුදු වහගන්න
එකම පිළිසරණ බව
හැදින ගත් හෝ නොගත්
තව බොහෝ දෙපා යුග
නවතීවි මගෙ ළඟත්
මා මෙන්ම ජීවිතේ
පිරිමහන උන් ලොවේ
තව බොහෝ ඇති නිසා....

Thursday, 11 August 2011

දැලක් විය එක් මකුළු...

නුඹේ ඒ පෙම මහරූ
දැලක් විය එක් මකුළු
බැඳිමුත් වියා නෙක අයුරූ
බිඳලිය මසිත වූ රුසිරූ

මින් පෙරත් මේ වගේ
බඳිමින් මකුළු දැල් අගේ
හොඳහැටි තිබුණු සිත මගේ
වසා දැමුවා පෙමින් ඔබගේ

මකුළුවා වියන දැලකින්
පතමිද සෙතක් කෙලෙසින්
මකුළුවගෙ දිවි රකිමින්
එදැල බැඳි ගෙය වීය අබලන්

දැලත් ඒ දැල බඳින නුඹවත්
කඩා අතු ගා දමමි ගෙයිනුත්
නුඹේ පෙම හා බැඳුණු මතකත්
යළිදු සිත නොම කරයි වල්මත්

Sunday, 7 August 2011

පෙර මඟ බලනෙමි

ඕසෙට පිපිලා තුන්මාසේ මල්
නෙක නෙක අයුරින් පාට හොවා
සීත ඉමේදී කටු යට සැඟවුණු
රෝස කැකුළු අද පුබුදු වෙලා

හැම තුරු වැලටම පාහේ මිහිකත
කොළ සළු පළදා ඔප කරලා
ටික දිනකට හෝ ඇවිත් යන්න යන
වසන්තයට පෙර මං තනලා

මීට පෙරත් ඇවිදිල්ල යන්න ගිය
වසන්තයේ මගෙ හිතට හොරා
නැවුම් සිතින් යළි පෙර මඟ බලනෙමි
මේ පාරත් නුඹ ඒවි කියා

මෙතුවක් කලකට මිලාන වී තිබු
සිතේ පැතුම් මල් යළි පුබුදා
සෙනෙහෙ සිතින් පිළිගන්නම් නැවතත්
නොයනු වසන්තය මා හැරදා