Tuesday, 7 June 2011

සෙනෙහෙ නිල් දිය...


සෙනෙහෙ නිල් දිය  
රැලිති හමුවේ
සිතුම් වෙරළෙහි 
රැඳුන සිතිවිලි
පුලින තලයම
නුඹත් එක්කම දුර ගියා....
නුඹ නැවත එයි
වෙරළ සිඹිනට
මගේ සිතිවිලි දුර තියා....
එදා ළඟ තිබු වෙරළ අද නැත
නුඹම එය ගෙන ගිය නිසා....
හොදින් පීරා බලනු දිය කඳ
මසිත ඔබ ළඟදැයි කියා...

Sunday, 5 June 2011

අව පස සඳ......


 
                                                  කෙතරම් එළිය මුත්
                                                  පලක් වෙද
                                                  පුරා පස සඳකින්
                                                  එක් දිනක් පායන
                                                  ඔබ මගේ සිත් අහසෙ
                                                  අව පස සඳක් වී…..
                                                  පායන්න බොහෝ කල්.....

Wednesday, 1 June 2011

කෙත් බිමට වට පිණි වැස්ස


කාලයක් පාළු වුනු
කෙත් බිමට හිටි ගමන්
වැටුණු පිණි වැස්ස නුඹ

කම්මැළිව නිදි කිරූ
සිතුම් අම්ඹාරුවන්
එහෙ මෙහේ ඇවිදවා
මඩ කළා සිත් කෙතම

නියර වැටියද බැඳිමි
කෙතට රැකවල දෙන්න
දැන් ඉතින් කාලයයි
පෙම් බීජ වපුරන්න

කෙතම නිල්ලට හැරී
රන්කරල් පීදෙන්න
නුඹේ සෙනෙහස් දියෙන්
කෙතට යළි පණ දෙන්න

Saturday, 28 May 2011

හිම රේණු ආදරය...

හරිත පත් නෙක ගණන්
පිරි ඉතිරී ගියපු
වසන්තය පුරාවට
මලක් සේ ඵලක් සේ
නුඹ දුන්නු ආදරය...

වසන්තය මියෙද්දිම
හරිතවන් පත් සේම
මල් සේම ඵල සේම
හැර ගියා දෝ සිතුණි...

මේ සීත ඉර්තුවම
ගැහෙන සිතුවිලි එක්ක
පැතුම් සුන් හදවතම
මඟ බලා ඉදිද්දී...

හිම රේණු ලෙසින් විත්
නැවත හද වෙලා ගත්
නුඹේ ඒ ආදරය
මේ සිතට බර වැඩියි
මුත් ඉතින්....
රැක ගනිමි හදවතින්
නොයන්නට දිය වෙවී
බිඳක් හෝ....