Tuesday 22 November 2011

පින්මඳ මවක්...


 
සිටියේ නිවන්නයි පුත නුඹ සා ගින්නේ
පිය තුම නුඹේ සුර ලොව වෙත ගිය බැවිනේ
කබලෙන් ලිපට වැටුනා නුඹ හා ඉතිනේ

කවා පොවා කරදඬු උස් මහත් කොට
හැකි ලෙස ශිල්ප ලැබ දුන්නෙමි පුත නුඹට
නොලැබුනෙ පෙර කළෙහි පින් පෙත් කරන්නට
සිදු වූ නිසයි හැම දේ පිරි මහන්නට

දැන් නුඹ සිදාදියේ ඇත අතමිට යහමින්
පින්මඳ මවක් වෙමි නොලබන ගරු බුහුමන්
දොරකඩ ළඟින් පියමනිනා බුදු පුතණුන්
වෙත පුද කළෙමි අද වේලක් පින් සලකන්

Sunday 13 November 2011

මට යන්න අවසරයි

          කියනු මැන පැහැදිළිව
මා එපා නම් ඔබට
ඇයිද මේ නොකියාම
පලා බෙදනුයෙ මෙමට

ඔබේ හද අරණ මත
තැනූ පෙම් මන්දීරෙ
මා මෙන්ම ඔහු වෙතද
ඉඩ සැදුවෙ ඇයි සොදුරෙ

මන්දිරේ එලෙසමයි
තැනු ලෙසම පැවතෙනා
අප දෙදෙනා ඔබට පිදු
ආදරේ වැඩි වුනා

සමුදෙන්නෙ කාටදැයි
නුඹෙම සිත ගතු කියයි
වෙනස්කම් එපා තව
මට යන්න අවසරයි

සිත් අහස...

සුපැහැදිලි නිල් අහස
වගෙයි නුඹෙ සිත විටෙක
නුඹම පමණක් නොවෙයි
මමත් විනිවිද දකින

විටෙක වැහි කුළු වළා
සිත් අහස කළු කළා
නුඹට වත් නුඹේ සිත
හඳුනන්න බැරි වෙලා

වළා බැමි තුලින් ආ
රිදී දිය දරකින්
නුඹකුසට නෙත් හෙලූ
මසිත් ගැබ තෙත් උනා

වරින් වර සිත වසන
දුක් සුසුම් වළා පට
වැස්සක්ව වස්සන්න
සිත් අහස එළි වන්න

ඒ වැස්ස පිළිගන්න
උරා ගෙන සඟවන්න
මගේ සිත් පොළෝ ගැබ
ඉඩ ඇතියි හොඳටෝම